28032024Thu
Last update:Mon, 04 Mar 2024

මහ බැංකු අධිපතිට අද ජනපති අතින් පත්වීම්

slm cmyශ්‍රී ලංකා මහ බැංකුවේ අභිනව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (4) සිය පත්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් භාර ගැනීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයකට අනුව මෙම පත් කිරීම සිදු කෙරෙන අතර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව එම තීන්දුවට එළඹ තිබේ.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අර්ථ ශාස්ත්‍රඥයෙක් ලෙස බැංකු ක්ෂේත්‍රයේ සහ සෙසු ක්ෂේත්‍රවල විශේෂඥතාව දැක් වූ අයෙකි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා ලන්ඩන් හැරෝ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබා ගත්තේය.

ලන්ඩන් සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඒ මහතා 1973 ශ්‍රී ලංකා මහ බැංකුවට බැඳි 1989 දක්වා එහි ආර්ථික පර්යේෂණ නිලධාරියෙක් ලෙස සේවය කළේය. වසර 1981දී මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයට එක් වූ කුමාරස්වාමි මහතා 1989 දක්වා එහි සේවය කළ අයෙකි.

අනතුරුව වසර 1990දී ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ද සිය අමිල මෙහෙවර ඉටු කළේය.

අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවට ද උපන් හපන්කම් ඇති කුමාරස්වාමි මහතා රගර් සහ ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂ දක්ෂතා දක්වා තිබේ.

වසර 1974දී ශ්‍රී ලංකා ජාතික රග්බි නායකත්වයෙන් පිදුම් ලැබූ හෙතෙම ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ රග්බි කණ්ඩායම සහ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අයෙකි.

ප්‍රකට විද්වතෙක් වූ ආනන්ද කුමාරස්වාමි මහතාගේ මුණුබුරෙකු වන ඒ මහතා ආචාර්ය රදිකා කුමාරස්වාමිගේ ආදරණිය සහෝදරයායි.